මෙතෙක් නිසි ඇගයීමකට ලක් නොවූ, නිවෙස් තුළ සිදුවන වැටුප් නොලබන සත්කාරක සේවා හඳුනාගෙන ඒවා රජයේ විධිමත් ආර්ථික ක්ෂේත්රයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් Òසමාජ රැකවරණ ක්ෂේත්රය පිළිබඳ දස අවුරුදු (2026-2035) ජාතික ක්රියාකාරි සැලැස්මÓ සකස් කර ඇත.
මෙම දස අවුරුදු සැලැස්මෙහි තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ හමුවක් කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පසුගියදා පැවැත්විණි. කම්කරු අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී සමාජ රැකවරණ ක්ෂේත්රය පිළිබඳ තාක්ෂණික කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය. මෙම ජාතික සැලැස්ම මේ වන විට අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමේ අවසාන අදියරට යොමුකර තිබේ.
ජාතික සමාජ ආරක්ෂණ ප්රතිපත්තියට හා උපායමාර්ගයට අනුකූලව, ජාත්යන්තර කම්කරු සංවිධානයේ (ILO) තාක්ෂණික සහයෝගය ද ඇතිව මෙම සැලැස්ම සකස්කර ඇත. ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය , කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය සහ කම්කරු අමාත්යාංශ තුනෙහි මූලිකත්වයෙන් මෙහි කටයුතු සාර්ථකව අවසන් කර ඇත.
මෙරට කාන්තා ශ්රම බළකා සහභාගිත්වය දැනට 32.3% වැනි පහළ මට්ටමක පවති. මෙම සැලැස්ම මඟින් සත්කාරක බර අවම කිරීම සහ එය බෙදාහදා ගැනීමෙන් කාන්තා ශ්රම බළකා සහභාගිත්වය ඉහළ නැංවීමට අවශ්ය සහායක රාමුව ජාතික මට්ටමේ සිට ග්රාමීය මට්ටම දක්වා සක්රියව ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව, රැකවරණ ක්ෂේත්රයේ නියුතු සේවකයන් සඳහා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකකරණය සහ දායකත්ව සමාජ ආරක්ෂණ ක්රමවේද ලබාදීමට ද පියවර ගැනේ. එමෙන්ම මෙරට 18%ක් වන වැඩිහිටි ජනගහනයට සහ 3.7%ක් වන දැඩි ආබාධිත තත්ත්ව සහිත පුද්ගලයන්ට අවශ්ය සුවිශේෂී රැකවරණ සේවා තහවුරු කිරීම ද මෙහි ප්රධාන අරමුණකි.
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (මානව සම්පත් කළමනාකරණ) චම්පිකා ශිරෝමාලී, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීමේ අමාත්යාංශයේ අධ්යක්ෂ (සමාජ ආරක්ෂණ) වාසනා ගුණරත්න, කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශයේ අධ්යක්ෂ (සැලසුම් සහ මෙහෙයුම්) කේ.පී.සී. සුභාෂිනී සහ තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්යාපන කොමිෂන් සභාවේ අධ්යක්ෂ (NVQ Division) ආචාර්ය දිල්රුක්ෂි හේරත් මහත්මීන් විසින් මෙහිදී තාක්ෂණික ඉදිරිපත් කිරීම් සිදු කරන ලදි.
ජාත්යන්තර කම්කරු සංවිධානයේ (ILO) මෙරට නියෝජිත ජොනී සිම්ප්සන් මහත්මිය ඇතුළු ක්ෂේත්රයට අදාළ විශාල පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
Source:
dinamina.lk

